2009 වර්ෂයේදී ආරම්භ කල ශ්‍රී ලාංකීය වේදිකාව නම් මෙම වෙබ් අඩවිය, ලාංකීය කලා කෙත පෝෂණය කිරීමට ගත් කුඩා වෑයමකි. විශේෂයෙන්ම අන්තර්ජාලය තුල වේදිකා නාට්‍ය ගැන පලවූ ලිපි එකම වෙබ් අඩවියකට යොමුකොට, වේදිකා නාට්‍ය හදාරන සහ ඒ පිලිබදව උනන්දුවක් දක්වන සැමට පිටුවහලක් වන ලෙසට එය පවත්වාගෙන යනු ලැබීය.

2012 වර්ෂයේ සැප්තම්බර් මාසයේ www.srilankantheatre.net
නමින් අලුත් වෙබ් අඩවියක් ලෙස ස්ථාපනය කල මෙම වෙබ් අඩවිය, ලාංකීය කලා කෙත නව ආකාරයකින් හෙට දවසෙත් පෝෂණයේ කිරීමට සැදී පැහැදී සිටී. මෙම නව වෙබ් අඩවිය තුලින් වේදිකා නාට්‍ය පමණක් නොව, චිත්‍රපට, සංගීතය, ඡායරෑපකරණය, සාහිත්‍ය සහ තවත් නොයෙක් ලාංකීය කලා මාධ්‍යන් ගැන විශ්ලේෂනාත්මක ලිපි ඉදිරිපත්කිරීමට බලාපොරොත්තු වෙමු. ඒ සදහා ඔබගේ නොමසුරු සහයෝගය සහ දායකත්වය අප බලාපොරොත්තු වෙමු.

Monday 1 February 2010

පා පැදියක නැඟී ගමින් ගමට නාට්‍ය ගෙන යන වෑයමක් ජයලාල් රෝහණගෙන්

Author: රමණී සුබසිංහ Source: Silumina Date: 16/01/2008

කෝච්චියක හැපී නොමැරී බේරෙන්නට තරම් දෛවය ඔහුට හිතවත් විය. පසුගිය දා නුගේගොඩ බෝම්බයට හසු නොවී ඔහු බේරුණේ පෙර පිනකට ය. බෝම්බය පිපිරෙන මොහොතේ ඔහු පන්තියක් ඉවර වී සැරිසරමින් සිටියේ එම ඉසව්වේ ය.

යළි යළි ජීවිතය ලද මේ අපූරු මිනිසා ජයලාල් රෝහණ රඟපෑමෙන් නොනැවතී නාට්‍ය හා රංග කලාව අන් අයට ද උගන්වයි. ඒ විතරක් නොව ඔහු මොරටුව විශ්වවිද්‍යාලයේ වාස්තු විද්‍යාව පිළිබඳ බාහිර කථිකාචාර්යවරයෙකි.

’ඉසුරු යෝගයේ’ - මුතුමිණ, ‘වීදුරු ගෙවල්’ හි - පොඩි මහත්තයා, ‘සඳගලතැන්නේ’ රාළහාමි... මේ ජයලාල් රෝහණ විශේෂ රංගවේදියකු ලෙස අපේ මතකයේ රැඳවූ චරිත කීපයකි.

ඔහු කෙතරම් හාස්‍යජනක චරිත කළත් ‘සීරියස්’ මිනිසෙකි.

”ප‍්‍රවීණයෝ කියනවා නාට්‍ය කලාව අද අපෙන් ගිලිහිලා කියලා. ඒ අදහසට මා විරුද්ධයි. සංස්කෘතික විපර්යාසයක් පමණයි සිදු වී තිබෙන්නේ.

අද අපේ සමාජය නාට්‍ය රසවිඳින්න දන්නේ නෑ. හරය නොවෙයි බලන්නේ. මතුපිට පමණයි. මේ ගැන පෙ‍්‍ර්ක්‍ෂකයන්ට දොස් කීමෙන් පලක් නෑ. උසස් නිර්මාණ ඔවුන්ට විඳීමට සැලැස්විය යුතුයි.”

ජයලාල් රෝහණයන් දැන් උත්සාහ දරන්නේ ගිලිහී ගිය රසවින්දනය නැවත ජනතාව අතරට ගෙන යාමට ය. ලෝක නාට්‍ය දිනයට සමගාමීව කෙටි නාට්‍ය අටක් කලඑළි දැක්වීමට ඔහු මේ දිනවල කටයුතු කරගෙන යයි.

”නාට්‍ය හා රංග කලාව ප‍්‍රායෝගිකව හදාරන පාසල් හා විශ්වවිද්‍යාල සිසුන් සහභාගි කරවාගෙන මම වැඩමුළු පවත්වනවා.

ගම්පහ යක්කල චන්ද්‍රජෝති විද්‍යාලයේ සහ මහරගම ශාස්ත‍්‍ර භූමි ආයතනයේ කරගෙන යන මෙම වැඩමුළුවලට සහභාගි වන ළමයි එකතු කරගෙනයි මේ නාට්‍ය කලඑළි දක්වන්නේ.”

මාර්තු පළමුවැනි දා සිට උසස් නාට්‍ය ගමට ගෙන යාම Cycle Play (සයිකල් ප්ලේ) වැඩසටන ජයලාල් රෝහණ ගේ අපූරු සංකල්පයකි. මේ නාට්‍ය සඳහා සහභාගි වන්නේ ද ඔහු ගේ සිසු දරු දැරියන් ය.

”ලංකාවේ පළමුවතාවටයි මෙවැනි වැඩසටහනක් කි‍්‍රයාත්මක වන්නේ. මෙහි දී නාට්‍ය කණ්ඩායම පාපැදිවල නැඟී ගමින් ගමට නාට්‍ය ගෙන යනවා. ‘සයිකල් ප්ලේ’ කියන්නේ ඒ අර්ථයෙන්.

නාට්‍ය භාණ්ඩවල සිට නවාතැන් ගැනීමේ දී උයන පිහන උපකරණ පවා රැගෙන යන්නේ මේ පාපැදිවලයි. මුලින් ම යන පා පැදියේ ශබ්ද විකාශන යන්ත‍්‍රයක් මගින් වැඩසටහන පිළිබඳව ප‍්‍රචාරය කෙරෙනවා.

පහළොස් දෙනකු ගේ පමණ පිරිසක් සහභාගි වන මෙම වැඩසටහනට සම්භාව්‍ය බටහිර කෙටි නාට්‍ය වගේ ම උසස් රසවින්දනයක් ලැබෙන අන්දමේ නාට්‍ය හය - හතක් අන්තර්ගතයි.”

යම් සමාජ සංවිධානයක් හෝ පිරිසක් මෙම නාට්‍යය තම ගමේ නගරයේ පෙන්වීමට බලාපොරොත්තු වන්නේ නම් ඒ ඇරියුම් පිළිගැනීමට, නොමිළයේ තම සේවාව බෙදා හැරීමට ද ජයලාල් රෝහණයන් සූදානම්.

”දැන් බොහෝ පිරිස් චෝදනා කරනවා වේදිකාවේ හිටපු නළු නිළියෝ ටෙලි නාට්‍යවලට ගියාට පස්සේ වේදිකාව අමතක කරනවා කියලා. ඒත් මම එවැනි කෙනෙක් නොවෙයි. අපි කිසියම් නිර්මාණයක් සමාජය වෙනුවෙන් කළ යුතුයි කියන මතයේ මම ඉන්නේ. රස විඳීම පුරුදු කිරීම ඒ අතර ප‍්‍රධානයි.”

ඔහු ගේ අදහස කලා කෘතියක් රස විඳීමට නම් රස පරිසරයක සිටිය යුතු බවයි.

විශ්වවිද්‍යාල වැනි ආයතනවලට පවා අද ගෙන්වන්නේ සුපර්ස්ටාර්ස්ලා. උගන්වන කථිකාචාර්යවරයා ගේ සිට ඉගෙන ගන්නා ළමයා ගේ දක්වා රසඥතාව මොටවෙලා ඉවරයි. මං මේ ළඟ දී ඉන්දීය ජාතිකයෙකු ගේ විවාහ මංගල්‍යයකට සහභාගි වුණා.

මුළු උත්සවය පුරාම ඇසුණේ බෙලෙක් හඬ නැගෙන සංගීතය නොවෙයි. සුමටව වැයුණු තබ්ලාවේ සහ සිතාරයේ හඬ පමණයි.”

ගුරු උපදේශන සේවයේ දී ඔහු යුද්ධය නිසා මානසිකව පීඩාවට පත් වූ දරුවන්ට සේවය කිරීමට ද අමතක කර නැත. නැගෙනහිර පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයට සම්බන්ධ වෙමින් මානසික පීඩාවට පත් වූ දරුවන්ට පාඩම් ග‍්‍රහණය කර ගැනීම පහසුවෙන අයුරින් ඉගැන්වීමේ ක‍්‍රම ගුරුවරුනට පුහුණු කිරීමේ ‘ප‍්‍රතිකාර අධ්‍යාපනය’ වැඩසටහනට ද ඔහු මේ දිනවල සහභාගි වේ.

”අපි ඉගැන්වූවාට එය ළමයාට ග‍්‍රහණය කර ගන්න බැරි නම් මොකද කරන්නේ. මම දන්න විදිහට යුද්ධයෙන් පීඩාවට පත් වූ දරුවන්ට පමණක් නොවෙයි හැම පළාතක ම දරුවන්ට මේ ගැටලුව තිබෙනවා.

ගුරුවරයා කියන දේ සියයට සියයක් ම ග‍්‍රහණය කර ගන්න බෑ. ගුරුවරයා සම්මත ගුරුවරයාගෙන් වෙනස් වන්නේ කෙසේ ද? අධ්‍යාපන මෙවලමක් ලෙස නාට්‍ය කලාව භාවිත කරන්නේ කෙසේ ද?

දරුවාට සමීප වන්නේ කෙසේ ද යන්න ගැන මෙම වැඩසටහන්වල දී සාර්ථකව පුහුණු කෙරෙනවා.” අනෙකුත් පළාත්වලත් මෙවැනි වැඩසටහන් කි‍්‍රයාත්මක වෙනවා නම් සේවය ලබා දෙන්න මම සූදානම්.”

ජයලාල් රෝහණයන් රඟපෑ අලුත් ටෙලිනාට්‍ය කිහිපයක් ඉදිරියේ දී විකාශය වීමට නියමිත ය. ඒ අතරින් ‘අහසට තරු ආදරෙයි’ ටෙලි නාට්‍යය ඔහුට වඩාත් සුවිශේෂී ය.

”මාත් තාත්තා කෙනෙක් නේ. මේ නාට්‍යයේ කියැවෙන්නෙත් දූවරු දෙන්නෙකුට අසීමිතව ආදරය කරන පියෙක් ගැන. කතාවේ එන පොඩි දූ රහසේ විවාහයක් කර ගැනීම නිසා මේ තාත්තා විඳින වේදනාව ඔහු ඉන්පසු මුහුණ දෙන සමාජ ගැටලු මෙහි අපූරුවට නිරූපණය කර තිබෙනවා.”

සිය ජීවිතයේ භූමිකා රැසක් නිරූපණය කරන ඔහු ඒ සියලු භූමිකාවක් ම අර්ථවත් වනු දැකීමේ අභිලාෂයෙන් පසු වේ.

”අඳුරේ ගිලී අඳුරට ශාප කිරීම මගේ ප‍්‍රතිපත්තිය නොවේ. එක පහන්සිළුවක් හෝ දැල්වීම මගේ අරමුණයි.”

නො. 50/3, සිරි සීලානන්ද මාවත, කොස්සින්න (උතුර), ගනේමුල්ල ජයලාල් රෝහණයන් ගේ ලිපිනයයි.

දුරකථනය - 0714 282032

No comments:

Post a Comment